අවධානයෙන් ගිලිහී ගිය ශ්‍රී ලංකාවේ මඩු මසුන්

wave
See caption below
wp-contentuploads2020105

Blue Resources Trust (BRT) යනු ශ්‍රී ලංකාව පදනම් කරගත් සමුද්‍ර පර්යේෂණ හා සාගර සම්පත් සංරක්ෂණය අරමුණු කරගෙන පිහිටුවා ගත් සංවිධානයකි. නූතන පරම්පරාවේ පර්යේෂකයින් දිරිගැන්වීමේ අරමුණ පෙරදැරි කර ගෙන BRT සංවිධානය මගින් සාගර විද්‍යා ක්ෂේත්‍රය හා සබැඳි උපාධි අපේක්ෂකයින් සහ උපාධි නිබන්ධනය සඳහා වූ පර්යේෂණ සිදුකරන ශ්‍රී ලාංකික සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරි නමනු ලබයි. “New England Aquarium” නම් සංවිධානයේ “Anderson Cabot Center for Ocean Life” මධ්‍යස්ථානයට අයත් “The Marine Conservation and Action Fund (MCAF)” අරමුදල මගින් 2012 සිට BRT සංවිධානය මගින් දියත් කරන ලද elasmobranch ව්‍යපෘතියට අනගි සහයක් ලබා දී ඇත. පසුගිය වසර වලදී මෙන්ම මේ වසරේදී ද එම අරමුදල අපගේ ක්ෂේත්‍ර මධ්‍යස්ථානය යාවත් කාලීනව තබා ගැනීමටත්, BRT මගින් පිරි නමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමටත් සුපුරුදු පරිදි නොමසුරු දායකත්වය ලබා දෙයි. පහත දැක්වෙන blog ලිපිය එක් ශිෂ්‍යත්ව ලාභියෙකු වන ගයත්‍ර බණ්ඩාර විසින් සිංහලෙන් හා ඉංග්‍රීසි බසින්ලියන ලද්දක් වන අතර එය දෙමල බසට පරිවර්තනය කරේ අපගේ පෙර ආඩුනික පුහුණු වන්නියක් වූ රිෆ්ඩා රිස්වාන්ය:

click here for the English version of this post.

இந்த இடுகையின் தமிழ் பதிப்பிற்கு இங்கே கிளிக் செய்க

ගයත්‍ර බණ්ඩාර විසිනි

මගේ ඒකායන පරමාර්ථය වූයේ සතුන්ගේ හැසිරීම් රටා, ඔවුන් ජීවත් වන වාසස්ථාන ආදී දෑ මනාව ගවේෂණය කර ඔවුන්ට සුරක්ෂිත හෙට දවසක් උදා කර දීමේ පරමාර්ථය පෙරදැරි කර ගෙන සතුන් සංරක්ෂණය සඳහා මාගේ නොමද දායකත්වය ලබා දීමයි. ඒ මන්ද යත් ඔවුන්ගේ පදනම් විරහිත ආදරය වෙනුවෙන් මම පෙරලා යමක් ඔවුන් වෙනුවෙන් කළ යුතු යැයි මා හට සැමවිටම හැඟෙන බැවිනි. මගේ පාසල් කාලය තුලදී මම පාසලේ පැවති පරිසර සංගම් සමඟත්, පාසල් කාලයෙන් අනතුරුව ඉදිරිපෙළ රාජ්‍ය නොවන සංවිධාන සහ සතුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට උත්සාහ දරන රාජ්‍ය ආයතන කිහිපයක් සමඟත් එක්ව කටයුතු කලෙමි.

ත්‍රිකුණාමලය මුහුදු වෙරළට ගිය දිනයක මුහුද තුලට එබී බැලූ සැටි මට තවමත් මතකයට නැගෙයි. නානාවිධ වර්ණයන් ගෙන් යුත් මාළු රංචු කොරල් පර අතරින් පිහිනා යන ආකාරය දෙස මම තත්පර කිහිපයක් බලා සිටියෙමි. ඒ වන විට දිගු වේලාවක් වතුර යට සිටීම මට තරමක් අසීරු කාර්යක් වුවද හැකි උපරිමයෙන් හුස්ම රඳවාගෙන මුහුද යට ඇති සොබාදහමේ චමත්කාරය අත් වින්දෙමි. ඒ තත්පර කිහිපය මා ලොව සොඳුරුතම පාරාදීසයට රැගෙන ගියා වැනි හැඟීමක් ඇති වුණි. මම හිස මදක් ඔසවා බැලුවෙමි. පෙණ නැගෙමින් ගොඩබිම කරා ඇදෙන දිය රැලි මගේ නෙත් මානයට හසු විය. නැවත නැවතත් දිය යට ඇති චමත්කාරය අත් විඳිමට මට උවමනා වුවත් කාලය ඊට හරස් විය. එවකට ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරය අසල වැඩි වේලාවක් රැදී සිටීමට අපට අවසර නොලැබිණි. දිය යට සැගවුණු ඒ සොඳුරු ලෝකය මා අතිශය පුදුමයට පත් කල අතර මතු යම් දිනෙක ඒ අපූරු ලෝකය ගැන අධ්‍යයනය කිරීමට එදා මම අදිටන් කර ගත්තෙමි.

මගේ අධිෂ්ඨානය සාක්ෂාත් කරගැනීමේ පළමු පියවර ලෙස මම පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය හා එක් වී සමුද්‍ර ජීව විද්‍යා උපාධිය හැදෑරීම ආරම්භ කලෙමි. විශ්ව විද්‍යාලයේ සිව් වසරක අධ්‍යයන කාලය තුල සාගර ජීව විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් රැසක් ඇසුරු කිරීමට මට අවකාශය ලැබුණි. එහිදී අපගේ ජේශ්ඨයෙකු වන බුද්ධි මහේෂිකා මහත්මිය විසින් වරක් මට කාටිලේජමය මසුන් සංරක්ෂණය සඳහා ක්‍රියා කරන Blue Resources Trust (BRT) නම් සංවිධානයක් ගැන පවසන ලදී. මම එම සංවිධානය පිළිබඳ තොරතුරු සොයා බැලූ අතර එමගින් ශ්‍රී ලංකාවේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මඩු මසුන් සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන බව අනාවරණය කර ගත්තෙමි. එම නිසා මම BRT සංවිධානයට අයදුම් කිරීමට තීරණය කළ අතර, අධ්‍යනය නොකළ Guitarfish කාණ්ඩයට අයත් වන මඩු මසුන් විශේෂයක් වන Acroteryobatis variegatus ගේ වයසත් සමග වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන ව්‍යාපෘතියක වැඩ කිරීම සදහා ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට මා හට හැකියාව ලැබුණි. මෙම පර්යේෂණය ශ්‍රී ලංකාවේ කාටිලේජමය මසුන් සඳහා වන වයසත් සමග වර්ධනය අධ්‍යයනය කරනු ලබන පළමු පර්යේෂණ කිහිපය අතරින් එකක් වන අතර මෙම කාණ්ඩය සදහා වන එකම පර්යේෂණයද වේ.

මම සෑම දිනයකම පාහේ උදෑසනින්ම අවදි වී ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාතේ වෙරළ තීරයට මායිම්ව වැටී ඇති මාර්ග ඔස්සේ ධීවර වරාය සහ සෙසු කුඩා තොටුපලවල් වලට පාපැදියෙන් යමින් Guitarfish මසුන් පිළිබඳව අධ්‍යයනය කරමි. එහිදී මම මට හමුවන සෑම මෝරෙකු හා මඩුවෙකු පිළිබඳ දත්ත සටහන් කර ගන්නේ BRT සංවිධානය විසින් සිදු කරන ඔවුන් පිලිබඳ දැනුම පුළුල් කිරීමේ උත්සාහයට අත්වැලක් වීමේ අදිටන ඇතුවයි. Guitarfish මසුන් හමු වූ සෑම අවස්ථාවකදීම මා පලමුව ඔවුන් විශ්ලේෂණය කරනු ලබන අතර අනතුරුව BRT ක්ෂේත්‍ර මධ්‍යස්ථානයට ගෙන එමි. ඉන් පසු මම ඔවුන්ගේ දිග මිනුම්, බර, ස්ත්‍රී පුරුෂ භාවය සහ පරිණතභාවය වැනි ජීව විද්යාත්මක හා මත්ස්‍ය විද්‍යාත්මක දත්ත වාර්තා ගත කරමි. ඉන් අනතුරුව ඔවුන් විඡ්ඡේදනය කිරීම ආරම්භ කරන අතර පළමුවෙන්ම බඩවැල් සහ ආමාශය ප්‍රවේශමෙන් ඉවත් කර ගනු ලැබේ. එම ඉවත් කර ගන්නා කොටස් වෙනත් පර්යේෂකයකුට අනාගතයේදී සිදු කරන අධ්‍යයනයන් සඳහා යොදා ගත හැකි පරිදී සංරක්ෂණය කරනු ලැබේ. ඉන් පසු මඩුවාගේ සම්පූර්ණ කශේරුකාවම ඉවත් කරගෙන එය සියුම්ව පිරිසිදු කරනු ලැබේ. මඩුවාගේ අනවශ්‍ය කොටස් මල්ලක බහා ශීතකරණය තුළ ගබඩා කරනු ලැබේ. එය එසේ කරනු ලබන්නේ තවත් දිනයක එම කොටස් ධීවරයින්ට ලබා දීමේ බලාපොරොත්තුවෙනි. එවිට ඔවුන්ට ඒවා මාළු ඇම සඳහා භාවිතා කළ හැකි වේ. ඉන් පසු කශේරුකාව සමාන කොටස් තුනකට බෙදා ඒවා සුදුසු පරිදි ලේබල් කරනු ලැබේ. ඊටත් පසුව කුඩා කශේරුකා කොටස් කපා ඒවාද සුදුසු පරිදි ක්‍රමාණුකූලව ගබඩා කරනු ලැබේ. අනතුරුව එම සෑම කුඩා කොටසක්ම low speed saw යන්ත්‍රයක් භාවිතයෙන් සුදුසු පරිදි කපා දමනු ලැබේ. මෙම කාර්යය අවසන් වූ පසු, කපන ලද සෑම කොටසක්ම විනිවිදකයක් මත තබා අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරමින් චායාරූප ගනු ලැබේ. ඒවා ගස්වල දක්නට ලැබෙන වර්ධක මුදු වලට සමාන වන අතර මෙමගින් මඩු මසුන්ගේ වර්ධක මුදු කොපමණ ඇත්දයි ගණන් කිරීම වඩාත් පහසු වේ. අවසාන වශයෙන් මම සුදුසු සංඛ්‍යාමය පරීක්ෂණයකින් දත්ත විශ්ලේෂණය කරමි.

Beautiful beaches in Eastern Sri Lanka.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර කොටසේ පිහිටා ඇති එක් සුන්දර වෙරළ තීරයක්.
கிழக்கு இலங்கையில் அழகான கடற்கரைகள்
Typical morning at Kayenkerni landing site.
කායන්කර්නී තොටුපලේ තවත් එක් උදෑසනක්.

කාටිලේජමය මසුන් පිළිබඳ අධ්‍යයනයන් ලංකාවේ සාපේක්ෂව දුර්ලභ බැවින්, මෙම අධ්‍යයනය මගින් ඔවුන්ගේ වර්තමාන තත්ත්වය තක්සේරු කිරීමට සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම සතුන් සංරක්ෂණය සඳහා නව දත්ත ලබා දීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. එමෙන්ම මෙම ක්ෂේත්‍රය තුල දිගටම රැඳී සිටිමින් කාටිලේජමය මසුන් පිළිබඳ පර්යේෂකයකු ලෙස මගේ කුසලතා තවදුරටත් වර්ධනය කර ගැනීමටද මම බලාපොරොත්තු වෙමි. අවසන් වශයෙන්, හඩක් නොනැඟිය හැකි සතුන් වෙනුවෙන් මගේ හඩ අවධි කරමින් ඔවුන් රැක ගැනීමට දායක වීම මාගේ ඒකායන අරමුණයි.

wave